Traditions, Games and Event Planning #33

අවින්‍යා අඬබෙරකරුගේ අලුත් අවුරුදු පණිවිඩය

This week was full of millstones. We reached the end of our first term, which felt like a blink of an eye from when we began our journey is January. The students will be on a well deserved break to celebrate the Sinhala Tamil New Year and Easter. Also, for those wondering where Anju is, she is off to represent Avinya at the annual IATEFL Conference. Watch our social media handles for more updates on this. 

This week's very special blog is brought to us courtesy our very own Lakshman, as he was inspired after watching our students pour their heart and soul into planning Avinya's very first Avurudu Celebration. 

මේ සතියේ 4වැනි දින උදෑසන අවින්‍යා ඇකඩමියට අඬබෙරකරුවෙකු පැමිණුනි. 6වැනි දින බණ්ඩාරගම අවින්‍යා ඇකඩමිය පරිශ්‍රයේ අවුරුදු උළෙලක් පැවත්වෙන බව අඬබෙරකරු තම පණිවිඩය මඟින් දැන්වීය. ඒ සමඟම ඔහු 2023 අවුරුදු උදාවේ නැකත් සීට්ටුව ද ඉදිරිපත් කළේය. අඬබෙරකරු වෙතින් ප්‍රකට වූ සංකෘතික විචිත්‍රත්වය 6වැනිදා අවුරුදු උළෙල පුරා දකින්නට හැකිවෙතැයි කා අතරත් බලාපොරොත්තු දැල්වීය. එය එසේම ඉටු විය. අවින්‍යා ඇකඩමියේ සිසු සිසුවියන් විචිත්‍රවත් අවුරුදු උළෙලක් ඉදිරිපත් කළේ සැම දෙනාම ප්‍රීති ප්‍රමෝදයේ නහවමිනි. අවුරුද්ද පුරාම වුවද රසමිහිර දනවන මතක ඉතිරි කරන්නට අවින්‍යා කණ්ඩායම සමත් වූහ.

කිරි උතුරුවා පහන් දල්වමින් එමෙන්ම ගසක් සිටුවා සොබා දහම සමඟ ගනුදෙ
නු කරමින් මහා සංස්කෘතික මංගල්ලයේ අනන්‍යතාව සංකේතවත් කෙරිණි. බණ්ඩාරගම ආවින්‍යා ඇකඩමියේ පාර්ශවකරු මෙන්ම අසල්වැසියා වූ සර්වෝදයට අයත් උසස් අධ්‍යන ආයතනයට නෑගම් යමින් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම සංකේතවත් කෙරිණි. මනරම් නැටුම් ගැයුම් සහ ක්‍රීඩා ආදිය මඟින් මෙම සැනකෙළියේ සංවිධාන බව තර කර තිබිණ.

අවුරුදු උළෙල සැලසුම් කිරීම සහ ඉදිරිපත් කිරීම මුළුමනින්ම අවින්‍යා සිසු සිසුවියන් ගේ ය. මාස තුනක අධ්‍යන කාලයක් ව්‍යාපෘති මූළික ඉගෙනුම් ක්‍රියාවලියකට ඔවුහු සම්බන්ධව සිටියෝය. විසිඑක්වැනි සියවසේ ඉලක්ක ලෙස නම් කෙරුණු වෘත්තීය සහ ජීවන කුසලතා ප්‍රගුණ කිරීම මත එකී ව්‍යාපෘති පදනම් කෙරිණි. අනෙකා ඉවසන සාමූහික හැඟීම කුළුගන්වන එනම් කණ්ඩායම් හැඟීම මතුකරන ව්‍යාපෘති රැසක් අවින්‍යා ගුරු මණ්ඩලය විසින් ගෙවුණු කාලය තුළ මේ දරු දැරියන් වෙත පවරන ලදි. එම ඉගෙනුම සාර්ථක දැයි ඔවුන්ටම අත්හදා බලන්නට ලැබුණු පළමු අවස්ථාව එනම් ඔවුන්ගේම වූ ව්‍යාපෘතිය මෙම අවුරුදු උළෙලයි. තම ගම් ප්‍රදේශ අවුරුදු සිරියෙන් සරසන්නට සමත් සංවිධාන හැකියාවක්, ආත්ම ශක්තියක්, සංස්කෘතික අවබෝධයක් තමන් සතු බව අවින්‍යා සිසු දරු දැරියෝ අවුරුදු උළෙල නිමවන විට ප්‍රදර්ශනය කළහ.

අවින්‍යා අවුරුදු උළෙල ප්‍රධාන කරුණු දෙකක් නිසා විශේෂ වෙයි. එහි පළමුවැන්න ශිල්ප කොටස ලෙස මෙහිදී විස්තර කරමු. දෙවැන්න නම් ඩිජිටල් සාක්ෂරතාව ප්‍රගුණකරන දරුවන් සංස්කෘතික පොළවේ පය තබා සිටීම ගැන කතාවයි.

අලුත් අවුරුදු චාරිත්‍ර, අලුත් අවුරුදු ක්‍රීඩා මේ සැම දෙයකින්ම කුළුගන්වන්නේ පුද්ගලයා අළුත්විය යුතු බව කතාවයි. තමා තමාට අලුත් වීම, තමා ලෝකයට අළුත් වීම, අප ලෝකයට විවෘත වීම එයින් අඟවයි. ඒ වෙනුවෙන් සොබා දහම අපට පණිවිඩයක් දෙයි. අප පය තබා ගත් පොළවට සාපේකෂව සූර්යා අළුත් වටයකින් තම ගමන ආරම්භ කරන බව අපට සොබා දහම දෙන පණිවිඩයයි. එනම් සූර්යා තම අළුත් ගමන් වාරය මේෂ රාශියෙන් ආරම්භ කරයි. මීන රාශියේ අංශක 30 සිට මේෂ රාශියේ අංශක බිංදුවෙන් ගමන ආරම්භ කරන්නට ගතවෙන කාලය සංක්‍රාන්තිය ලෙස හැඳින්වේ. අවින්‍යා අඬබෙරකරු දැන්වූ නොනගතය යනු මෙම සංක්‍රාන්ති කාලයයි.

ඩිජිටල් සාක්ෂරතාව සහ ඉංග්‍රීසි භාෂාව මූළික කර ගත් අවින්‍යා බලගැන්වීමේ පාඨමාලාවත් වෘත්තීය පුහුණුවත් පදනම් වන්නේ ශිල්ප මතයි. එනම් අධ්‍යාපනය සම්බන්ධයෙන් කියවෙන ශිල්ප හා ශාස්ත්‍ර අතරින් ශිල්ප මතයි. මෙකී ශිල්ප කොටස සූර්යා හා විශාල සම්බන්ධයක් ඇති බවයි මෙහිදී අවධානයට ගත යුතු වැදගත් කාරණයක් වන්නේ. සූර්යාගේ බලපෑම කෘෂිකාර්මික සමාජයට පමණක් නොව ශිල්පය මූළික කරන සැම වෘතියකටම අදාළ බව වටහා ගත යුතුය. ඇත්තටම ශිල්ප පුහුණුව සඳහා අපට පළමු බලගැන්වීම ලැබෙන්නේ සොබාදහමේ සූර්යා වෙතිනි. ශිල්ප අධ්‍යයනයටත් ශිල්ප ඉදිරිපත් කිරීමටත් සිරුර උද්දීපනය කරන සොබා දහමේ ආලෝකය සූර්යයාය. සූර්යමංගල්ලය ලෙසද අලුත් අවුරුද්ද හඳුන්වයි.

දෙවැනි කරුණ නම් ඩිජිටල් ලෝකයේ සැරිසරන පරපුර දේශීය අනන්‍යතාව හඳුනා ගැනීම නැතිනම් සංස්කෘතික පොළවේ පය තබා ගැනීමයි. අද සංනිවේදනය යනු ඇඟිලි තුඩග මෙහෙයුමකි. අවින්‍යා සිසු සිසුවියන්ගේ ඉගෙනුම් භාවිතය ද එයයි. එහෙත් ඔවුන් සංස්කෘතික පොළවෙන් නොගැලවුණු බවයි අඬබෙරකරුගේ භූමිකාවෙන් පෙන්වන්නේ; මුළු අවුරුදු උළෙල පුරාම පෙන්වූයේ. ඇඟිලි තුඩග සන්නිවේදන කරුවෝ එදා සන්නිවේදන ස්වාභාවයද දැන සිටිති. බෙර වයන නාදය පැතිරවීමද ඇඟිලි තුඩග මෙහෙයුමද විවිධ යුගවල හමුවන සන්නිවේදනයේම විවිධ හැඩතල වේ. සංස්කෘතික ගලායාම හඳුනා ගැනීමද නූතන වටිනාකමකි. විසිඑක්වැනි සියවස ඉල්ලන වෘත්තිකයා සංස්කෘතික මිනිසකුද විය යුතු බැවිනි.

අවුරුදු උළෙල නිමාව සනිටුහන් කළ පණිවුඩය වූයේ අවින්‍යා කණ්ඩායමට ලැබෙන අවුරුදු සැමරුම් නිවාඩුව ගැනයි. අවින්‍යා දරුදැරියන් ගම්බිම් බලා, නෑගම් බලා මෙවර යන්නේ සාම්ප්‍රදායික තෑගි මළු තවත් වටිනාකමකින් බර කර ගෙන වීම නිසා එම නිවාඩු පණිවිඩය අරුත් බර කරනු ඇත. සාමූහික බව, එක්ව වැඩකිරීම, තමාගෙන් අනෙකා ඉවසීම, පරිත්‍යාගශීලී බව කැටිකර ගත් අවුරුදු ආදරය අවින්‍යා ඇකඩමියත් එහි ගුරුමණ්ඩලයත් අවින්‍යා දරුදැරියන් වෙත ලබා දුන් තෑග්ගයි.

ලක්ෂමන්













Comments

Popular posts from this blog

#51 Triumphant Milestones and Unstoppable Momentum

Vocational Magic in the Works #45

Series 2 Blog #1 - Roses, budding coders and bonding time